About

Saturday, October 8, 2011

අම්මේ මම නුඹට ආදරෙයි...

කතාකරන්ට හැකි වූ විට පොඩි ළමයෙකුගේ මුවින් පිට වන පළමු වචනය "අම්මා" ය. ඇය එතරම් අපට සමීපය. මේ කතාව මගේ මගේ මව ගැනය.

වෘත්තියෙන් ඇය සාමාන්‍ය පෙළ විද්‍යා ගුරුවරියකි. විශ්‍රාම යන විට ඇගේ සේවා කාලය වසර 28 කට වැඩිය. දිනක් ඇය පාසලේ උගන්වමින් සිටින විට සිහිසුන් වීම නිසා එදිනම සවස රාගම පුද්ගලික රෝහලකට රුගෙන යන ලදී. එහිදී ඇගේ මොළය ස්කෑන් පරීක්ෂාවකට ලක්කල යුතුබව තීරණය විය. පසුව කොළඹ ආසිරි රෝහලේදී එම පරීක්ෂාව සිදු කළේය. එම පරීක්ෂණයෙන් ඇගේ මොළයේ කුඩා ගෙඩියක් ඇති බව තහවුරු විය. ඒ සමඟම ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහල වෙත යෙමු කෙරිනි. නවලෝක රෝහලේදී කළ පරීක්ෂණ කීපයකින් පසුව එම ගෙඩිය සැත්කමක් මගින් වහාම ඉවත් කල යුතු බව තීරණය විය. 2003 නොවැම්බර් මාසයේදී එම සැත්කම සාර්ථකව සිදු කෙරිනි. සැත්කම සඳහා ඇගේ කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපා දැමීමටත් සිදුවිය. ඒත් කබලෙන් ලිපට වැටීමකි. සැත්කමෙන් ඉවත් කල ගෙඩියේ පිළිකා සෛල වැඩී ඇති බව රෝහලෙන් දන්වන ලදී. පසුව මගේ මව මහරගම පිළිකා රෝහල වෙත යොමු කරන ලදී. පසුව පිළිකා රෝහලෙන් ඇයට මාසයක් නොකඩවා විකිරණ ප්‍රතිකාර හා එන්නත් ලබා දෙන ලදී. එම ප්‍රතිකාර ලබා දෙන කාලය තුල ඇය වේගයෙන් ශාරීරිකව පිරිහිනි. අඳුරාගැනීමට වත් නොහැකි වන ලෙස වෙනස් විය.

කෙසේ නමුත් සියළු ප්‍රතිකාර වලින් පසුව නැවතත් මොළයේ ස්කෑන් පරීක්ෂාවකින් සියළුම දේ යහපත් අතට හැරී ඇති බව තීරණය විය. පසුව ක්‍රමයෙන් ඇය නැවතත් පෙර සිටි තත්ත්වට පත් විය. 2004 වසරේ රුකියාවට නොගොස් විවේක ගත් ඈ 2005 වසරේ සිට නැවතත් පාසලේ ඉගැන්වීමේ කටයුතු වල නිරත විය. නමුත් 2005 අවසානයේ සෞඛ්‍ය හේතු නිසාත් ගෙදර අයගේ බලකිරීම නිසාත් ඇය විශ්‍රාම යන ලදී.

කාලය මෙසේ ගෙවෙද්දී මෑතක සිට ඇයට එදිනෙදා සිදුවූ දේ අමතක වීමට පටන් ගත් අතර එය ක්‍රමයෙන් වැඩි විය. නැවතත් ඇය ප්‍රතිකාර සඳහා යොමු විය. පසුව කල ස්කෑන් පරීක්ෂාවකින් හෙළි වූයේ ඇගේ මොළයේ "වතුර" පිරී ඇති බවයි. වෛද්‍ය වරුන්ගේ නිගමනය වූයේ බටයක් යොදා එම වතුර ඉවත් කළ යුතු බවයි. එහෙත් කලින්, ප්‍රතිකාර මගින් එය පාලනය කළ හැකිදැයි බලා ප්‍රතිකාර නියම කෙරිනි. වැඩක් වූයේ නැත. ඇගේ අමතක වීම එන්න එන්නම වැඩි විය. එය කොතරම් දැයි කිවහොත් දිනක් ඇය මාව අඳුරාගත්තේද නැත.

පසුගිය සැප් 26 වනදා ඇය නැවතත් නවලෝක රෝහලට පරීක්ෂාවක් සඳහා ගෙන යන ලදී. පසුව ඊලඟ සතියේදි ඇගේ මොළයේ ඇති වතුර ඉවත් කිරිමට තීරණය කරන ලදි. සැත් 27 උදෑසන 5.30 ට පමණ නිවසේ කුස්සියේ සිටියදී ඇය වැටෙන්නට ගොස් ඇති අතර තාත්තා විසින් ඇය වැටෙන්නට නොදී පුටුවක වාඩි කරවා ඇත. ඒ මොහොතේ ගෙදර කිසිවෙකුවත් ඇය හඳුනාගත්තේ නැත. නමුත් ටික වේලාවකින් ඇයට සියළු දේ මතකය. එවෙලේම ඇයව නවලෝක රෝහලට ඇතුලත් කෙරිනි. 27 රාත්‍රියේ ඇගේ මොළයේ වතුර ඉවත් කිරීමට තීරණය විය. නමුත් රාත්‍රියේ ඇගේ රුධිර පීඩනය අසමාන්‍ය ලෙස අඩු වීම නිසා දැඩි සත්කාර ඒකකයට (I.C.U) ඇතුළු කරන ලදි. සැප් 28 දවසම ඇය සිටියේ දැඩි සත්කාර ඒකකයේය. නමුත් ඒ වන විට සියළු දේ සාමාන්‍ය අතට හැරී තිබිණි. සැත් 28 රාත්‍රී 10 ට පමණ මම ඇය ළඟට යන විටත් ඇය හොඳ සිහියෙන් යුතුව මාත් සමඟ කතා කළේය. 29 උදෑසන ඇයව දැඩිසත්කාර ඒකකයෙන් ඉවත් කරන බව වෛද්‍යවරුන් පැවසූ අතර අපට රුදී සිටිම තේරුමක් නොමැති නිසා අපට නිවසට යන ලෙස පැවසීය. 29 උදෑසන අපට නවලෝක රෝහලෙන් ඇමතුමක් ලැබිණි.

පාන්දර 5 වන විට අප නවලෝක රෝහලට ගියේය. පසුව පවුලේ සියළු දෙනා ICU එක තුලට ගත් වෛද්‍ය වරයෙක් පැවසුවේ මගේ මවගේ රුධිර සීනි මට්ටම අසාමාන්‍ය ලෙස වැඩි වීම නිසාත්, රුධිර පීඩනය නැවතත් අසාමාන්‍ය ලෙස පහත වැටීම නිසාත් ඇය මෙලොව හැර දා ගිය බවකි.. ඒ වෙලාවේ ඇති වූ හැගීම වචනයෙන් විස්තර කළ නොහැක. ඇගේ නිසල සිරුර දෙස තත්පරයක් වත් මට බලා සිටීමට නොහැකි විය.

ඇගේ හදවත දුර්වලව පැවත ඇති බව වෛද්‍යවරුන් පසුව පැවසීය. අක්ෂි දාන සංගමයේ ලියාපදිංච් වී සිටි නිසා ඇගේ ඇස් දෙකද පරිත්‍යාග කෙරිනි. නැවතත් ඇය මට පුතා කියන්නේ නැත. නැවතත් ඇය මට උදේට කෝපි සාදා දෙන්නේද නැත. කෑම උයන්නේද නැත. මම ගෙදර එන්නට පරක්කු වූ විට බනින්නේද නැත. දින 9 ක් ගත වී ඇතත් ඇය අප අතර නැත කියා මට විස්වාශ කළ නොහැක. නමුත් එය ඇත්තය.

8 comments:

Networkදිසා said...

අපේ මිතුරු දමට වසර හතරක් පමන උවත්, මවගේ අවමංගල්‍යයේදි අපි උබගෙන් දැකපු (අපට නොපෙන්වු)ශෝකය මේ විදියට බ්ලොග් අවකාශයට මුදාහැර අනිත් සහෝදර බ්ලොග් කරුවන් සමග බෙදාගැනීමට උත්සුත ඌවාට පළමු ස්තුතිය.තවත් හොද ලොකයක ඉදල උබට තනිවෙන්නට නොදී උබේ දිහාම ඒ අම්මා බලාගෙන ඇති.බෞද්ධයකුගේ අවසන් සුවය වන නිවන් සුව මා නුබේ අම්මා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි.

දුකා said...

හිත ශක්තිමත් කර ගනින් මල්ලී . . .
ඇතිවීම් නැතිවීම් ලෝක සොබාව . . ..
අපි ආදරය කරන අය අපිව දාලා ගියාම දැනෙන වේදනාව විඳින්න බොහොම අමාරුයි තමයි . . .
ඒත් ජීවිතේ කියන්නේ ඔන්න ඕකයි මල්ලී . . .
අම්මාට නිවන් සුව අත්වේවා . . .

Thilina said...

@Networkදිසා @දුකා

අදහස් වලට ස්තූතියි

GNS said...

ඇයට නිවන් සුව අත් වේවා.. :(

මේ බ්ලොග් සටහන දකිනකන් අපි දන්නෙවත් නෑ සිද්ධිය. :(

නෙරංජි | Neranji said...

ඇයට නිවන් සුව අත් වේවා...!!! සිත සවිමත් කරගෙන අනාගතයට මුහුණ දෙන්න අයියෙ....

Gayan Rupasinghe said...

අපි හැමෝටම මේ අත්දැකීමට මුණ දෙන්න වෙනවා කවද හරි,,,, හිත ශක්තිමත් කරගනින් යාලුවා... අම්මට උතුම් වූ නිර්වාන සම්පත්තිය ලැබේවා... මගේ නංගි නැති වෙලා ටාම දවස් ගානයි..

ජය..

සෝරෝ said...

පරක්කු වෙලා දැක්කේ සහෝදරයා..
අම්මගේ සෙනෙහස දෙන්න කාටවත් බෑ තමා.. ඒත් මොනවා කරන්නද හිත හයිය කරගෙන ඉදිරියට මූන දෙමු මචං..

අම්මට නිවන් සැප ලැබේවා..

Thilina Sampath said...

ඇයට නිවන් සුව අත් වේවා.. !

Post a Comment